Saturday, September 26, 2015


ආර්ථික ශක්‍යතාව තීරණය කරන ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්.

පුද්ගලයෙකුගේ ධනවත්බව, ආර්ථික හැකියාව, ඉපයීම් මාර්ග, හදිසි ධනලාභ, පාරම්පරික උරුමවීම් වැනි ආර්ථිකමය සාධක තීරණය කරන ග්‍රහ පිහිටීම් ජන්ම පත්‍රය විග්‍රහ කිරීම තුළින් හඳුනාගත හැකිය.  ජන්ම පත්‍රෙය් දෙවැනි භාවය තුළින් මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ද ඉපයීමේ හැකියාව, ඉපයීම් කරනු ලබන මාර්ග, වාසනා ශක්තිය, තැන්පතු ප්‍රමාණය වැනි දෑ සම්බන්ධයෙන් දැන ගැනීමට හැකිය. ජන්ම පත්‍රෙය් දෙවැනි භාවය හා සම්බන්ධ ග්‍රහ පිහිටීම් සමහරක් නම්
·       ජන්ම පත්‍රයේ දෙවැනි භාවයේ ශුභ ග්‍රහයින් සිටීමත්, දෙවැන්නාධිපති ත්‍රිකෝණස්ථානවල හා කේන්ද්‍රස්ථානයල සිටීමත්  එසේම ශුභ ග්‍රහයින් සමඟ සංයෝගවී සිටීමත් ඊට අමතරව දෙවැන්නාධිපති එකොළොස්වැන්නේ සිටීමත් ධනවත් වීම් පෙන්නුම් කරයි.
·       දෙවැන්නාධිපති ගුරු ග්‍රහයා වූ විටද, කුජ සමඟ සම්බන්ධ වී සිටින කල්හි ද ආර්ථික අතින් සමෘද්ධිමත් වේ.
·       ලග්නාධිපති දෙවැන්නේද, දෙවැන්නාධිපති එකොළොස්වැන්නේ ද එකොළොස්වැන්නාධිපති ලග්නයේ ද පතිත කල්හි ස්වෝත්සාහයෙන් උපයා ගත් ධනයෙන් පොහොසත් වේ.
·       ජන්ම පත්‍රයේ දෙවැනි භාවය මෙන් ම පස්වැනි හා නවවැනි භාවයන් හි ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ පිහිටීම ද ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් වේ. පස්වැනි භාවයේ බුධ ද එකොළොස්වැනි භාවයේ චන්ද්‍රයා සහ කුජ සිටින විට ද ධනවත් වේ.
·       දෙවැන්නාධිපතියා පතිත රාශිය අනුව ඒ ඒ රාශියේ ස්වභාවය මත ද ධනය ලැබෙන ආකාරය තීරණය වේ. දෙවැන්නාධිපති නවයේ නම් පාරම්පරික උරුමයන්ගෙන්, දෙවැන්නාධිපති හතේ නම් විවාහයෙන් හා කොටස් ව්‍යාපාර, හවුල් ව්‍යාපාර මාර්ගයෙන්, දෙවැන්නාධිපති එකොළොස්වැන්නේ නම් ධන ලාභ, ලොතරැයි දිනුම් ආදී වශයෙන් මුදල් ලැබීමේ ස්වභාවය තීරණය වේ.
·       ජන්ම පත්‍රයක ලග්නය බලවත් නම් සියළු මාර්ගවලින් ලැබෙන ධනය භුක්ති විඳීමේ වාසනාව ඇති කරයි.
·       ජන්ම පත්‍රයේ කේන්ද්‍රස්ථාන අතර මෙන්ම පහ හෝ නවය යන ත්‍රිකෝණස්ථාන දෙක අතර ද එමෙන්ම දෙක සහ එකොළහ අතර ඇතිවන පරිවර්තන යෝගයන් ද ජන්මියා ධනවතෙකු වීමට හේතු වේ.
·       දෙවැනි භාවයේ ශනි, රාහු හෝ කේතු වැනි ග්‍රහයෙක් පතිතවීමෙන් බාධා සහිතව මුදල් ලැබෙන අතර, අක්‍රමවත් ධනෝපායයන්ගෙන් මුදල් ලැබේ.


ආර්ථික කටයුතු සම්බන්ධයෙන් බලකාරක ග්‍රහයා වන්නේ ගුරු ග්‍රහයාය.  පූර්ව පින් හේතුවෙන් ලැබෙන මුදල් සම්බන්ධයෙන් ගුරු ග්‍රහයා මුල් වේ.  ආත්ම ශක්තිය, කායික ශක්තිය යොදවා මුදල් ලබා ගැනීමට බලකාරක වන ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයාය.  දැනුම, බුද්ධිය හා උගත්කම යොදවා කරන කටයුතු මගින් සහ ග්‍රන්ථකරණ තුළින් ඉපයිමට සම්බන්ධ බල කාරක ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයාය.  පෞද්ගලිකත්වය මත පිහිටා අන් අයගෙන් මුදල් උපයා සපයා ගැනීමට බලකාරී වන්නේ ශුක්‍ර ග්‍රහයාය.  පාරිභෝගික සම්බන්ධතා හා සංචාරක ක්ෂේත්‍රය තුළින් ධනය උපයා සපයා ගැනීමට සදු ග්‍රහයා උදව්වන අතර රවි ග්‍රහයා රාජ්‍ය සේවයට සම්බන්ධ කටයුතුවලින් ධනය ඉපයීම සදහා බලකාරක වේ.  ඉතාමත් දුෂ්කර කටුක මෙන්ම වගකිවයුතු කර්තව්‍යයක් ඉටු කිරීම මගින් මුදල් ඉපයීමට දායක වන්නේ සෙනසුරු ග්‍රහයාය. ස්වභාවික ධනෝපායන මාර්ගවලින් ධනය ලබා දීමට බලකාරක වන ග්‍රහයෙක් ලෙස යුරේනස් ග්‍රහයාද ග්‍රන්ථකරණ හා සාහිත්‍යය කලාව, නිර්මාණාත්මක  රැකි රක්ෂා මගින් ධනය ලබා දීමට නැප්චූන් ග්‍රහයා උපකාරී වන අතර ක්ෂණික කටයුතු, මියගිය අය සම්බන්ධ කටයුතුවලින් ධනය ලබා දීමට බලකාරක වන්නේ ප්ලූටෝ ග්‍රහයායි.

Wednesday, June 22, 2011

විදේශ සංචාර සඳහා බලපාන ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්


විදේශ සංචාර සඳහා බලපාන ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්
විදේශගතවීම් විවිධ අරමුණු සඳහා වේ.  ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමට, විනෝද ගමනක් ලෙස, විවේකය ලබා ගැනීම සඳහා, ලෙඩරෝග සුව කර ගැනීම සඳහා මෙන්ම රැකියාවක් සඳහා විදේශගත වීම,  විදේශගත වීම්වලට හේතුවන ප්‍රධාන ලෙස සැලකෙන අරමුණු වේ.  අප රටේ විදේශගත වීම් බලන විට බොහෝ විදේශ ගතවීම් ඇති කර තිබෙන්නේ රැකියා අරමුණු කරගෙනය.  මෙය විවෘත ආර්ථික සංකල්පය මත වේගයෙන් වර්ධනය වූ අංශයක් ලෙස දැක්විය හැකිය.
අද අප අවධානයට යොමු කරන්නේ ඔබගේ ජන්ම පත්‍රයේ සඳහන් විදේශ ගතවීම් සඳහා උචිත ග්‍රහයෝග සම්බන්ධයෙනි. විදේශගතවීම් හා ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් අතර කරන ලද විශ්ලේෂණවලින් තහවුරු වී ඇත්තේ, විදේශගතවී යම් යම් උපද්‍රව කරදරවලට පත්ව ඇති අයගේ ජන්ම පත්‍රවල විදේශගතවීමට අවශ්‍ය හා සාර්ථකව විදේශ ගමන් සඳහා අවශ්‍ය කරන ග්‍රහ පිහිටීම් පිහිටා නොමැති බවය.
ජන්ම පත්‍රයක විදේශතගවීම් සම්බන්ධව පිරික්සීමේදී වඩා වැදගත් භාවයක් වන්නේ  9 හා 12 වැනි භාවයන් දෙකයි. එසේම එම භාවයන් දෙකම කුමන ආකාරයකින් හෝ රාහු හා ගුරු යන ග්‍රහයින් දෙදෙනාගේ කුමන හෝ ආකාරයක සම්බන්ධයක් තිබිය යුතුය. එසේම පහත ග්‍රහ පිහිටීම් ජන්ම බලයෙන් හෝ ගෝචර බලයෙන් පිහිටා ඇත්නම් විදේශ සංචාර සඳහා මෙන්ම විදේශගතවීම් සඳහා බලකාරක වේ.
·       ගුරු හා රාහු ග්‍රහයන් සංයෝග වී චර රාශියක පතිත වීම්, එනම් මේෂ, කටක, තුලා සහ මකර රාශියක් පිහිටීම.
·       රාහු ග්‍රහයා 12 හෝ 8 යන භාවයක බලවත් ව  පතිත වීම
·       ලග්නාධිපති හා 12 අධිපති බලවත් වීම
·       දොළොස්වැන්නාධිපති චර රාශයක හෝ උභය රාශියක ( මිථුන, කන්‍යා, ධනු, කුම්භ) පතිත වීම
·       දොළොස්වැනි භාවයට තුලා රාශිය වී සිකුරු ග්‍රහයා එම භාවයේ පතිත වීම
·       කුජ ලග්නාධිපති වී චර රාශිගතව පතිත වීම හා ඒ සමඟම රාහු ග්‍රහයා ධනු රාශිගතව පතිත වීම
·       කුජ ග්‍රහයා 1,4,5,6,10 හා 11 යන ස්ථානයක බලගතව තැන්පත් වීම
·       කේන්ද්‍ර සටහනේ 2,3,5,9,11 හා 12 චර රාශියක් වී එම භාවවල රාහු, රවි, සඳු, සිකුරු, ගුරු, ශනි පතිත වීම
·       කේනද්‍ර සටහනේ කේන්ද්‍රස්ථානයක ගුරු ග්‍රහයා භාවගතවී බලවත් වීම හා 7,8 ස්ථානවල ශුභ ග්‍රහයින් තැන්පත් වීම
·       රාහු ග්‍රහයාගෙන් දොළොස්වැන්නේ ගුරු භාවගතවීම 5 හෝ 9 ස්ථානයක බුධ ග්‍රහයා තැන්පත් ව ගුරු ග්‍රහයා ලග්නගත වීම
·       ලග්නයේ රාහු හා ගුරු ද, 4,7,10 යන භාවයක රවි, සදු භාවගත වීම

ජන්ම බලයෙන් හෝ ගෝචර බලයෙන් ඉහත සදහන් කළ ග්‍රහයෝග පවතින විට රාහු ගේ හෝ සෙනසුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් හෝ සඳු අතුරු දශාවක් ලබා ඇත්නම් එකී අවස්ථාවලදී විදේශගතවීම් සදහා උපරිම ග්‍රහ බලය හා ශක්තිය ලබා දේ.